මෛත්‍රීගේ දෙවැනි වාරය - Sri Lanka Guardian

Breaking

Home Top Ad

Responsive Ads Here

Monday, October 29, 2018

මෛත්‍රීගේ දෙවැනි වාරය

ජනාධිපති සිරිසේන මහතා වහාම ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඔහුට තම දෙවැනිවාරය සහතික කරගත හැකිය. ලෝකයම පුදුම කරවමින් යළිත් ජනාධිපතිධූරය ඔහුට අත්පත් කර ගත හැකිය. නමුත්, නව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත්, රාජපක්ෂ මහතා තම දේශපාලනය යළිත් තමන් විසින්ම විනාශ කරගත් බව රට හමුවේ ඉතාම ඛේදනීය ලෙස ඔප්පු කරනු ඇත. 


විශේෂ ලියුම්කරුවෙකු විසිනි
මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් ඊයේ සිදුවිය. නමුත් එය දීර්ඝ කතාබහක ප්‍රතිඵලයක් බව ඊට සහභාගී වූ පිරිස හැර දැන සිටියේ ඉතාම සුළු පිරිසක් පමණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම විධායක බලතල භාවිතා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහකළ අතර නව අගමැතිවරයා ලෙස ඔහුගේ අභිමත බලය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබීය. වත්මන් අගමැතිවරයාගේ ධූරය ඉන් අහෝසි වන්නේ යැයි සිතීම උගහටය. රට ඇද දමා ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුධයකටය. පසුව කළ යුතුව තිබුණු කටයුතක්, හදිසියේ කිරීමට ගොස් සමස්ථ රටම අර්බුධයකට තල්ලු කොට තිබේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ නව අගමැතිවරයා ලෙස ඊයේ සවස් යාමයේදී දිවුරුම් දුන් අතර, වත්මන් ආණ්ඩුවේ බල රහිත භාවය ගැන විවිධ මතිමතාන්තර රාශියක් පැතිරී යමින් තිබේ. මේ වන විටත් බොහෝ දෙනෙකු අතර පවතින අනවබෝධය මෙන්ම හිතා මතා සිදුකරණ වැරදි නිර්වචන හේතුවෙන් මෙම දේශපාලන වෙනස තුළ සිදු වී ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් විය යුතු විවාදය යටපත් වෙමින් තිබේ.
මහින්ද-මෛත්‍රී සන්ධාන ආණ්ඩුවක් සම්බන්ධයෙන් මූලික කතා බහ ඇති වූයේ පසුගිය වසරේ මුල් කාර්තුවේදී පමණය. ඒ වනවිට එය බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි දෙයක් වූ අතර එහි පළමු පියවර වූයේ, මෛත්‍රී සමග ගෝඨාබය රාජපක්ෂ සන්ධාන ගත කිරීමය. ඊට එකතු වූ බොහෝ දෙනෙකුගේ විස්වාශයට අනුව, ජනාධිපති සිරිසේන මහතා වත්මන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාජිකයින් අතින් හෑල්ලුවට ලක් වෙමින් සිටින්නේය. ජනාධිපතිවරයාද පැවති තත්වය වෙනස් කොට තමන්ට හිමි නිසි ගෞරවය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථා රාශියක් තිබූ බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වේ.
කෙසේ නමුත්, එක්සත් ජාතික පෙරමුණ, ජනාධිපති සිරිසේන මහතා දිගින් දිගටම හැල්ලුවට ලක් කිරීම මෙන්ම ඔහුගෙන් හංගා බොහෝ වැදගත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කළ අවස්ථා තිබුණි. එහි ඉතාම ආසන්නතම සිදුවීම වූයේ, අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට පෙර, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැන නැගුනු විවාදය වේ. මලික් සමරවික්‍රම මහතාගේ උපදෙස් අනුව යමින් කටයුතු කරන වික්‍රමසිංහ මහතාගේ පිළිගැනීමට අනුව අදාළ පර්යන්තය තෙවැනි පාර්ශවයකට ලබා දීම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 – 600 අතර ප්‍රමාණයක ඍජු විදේශ ආයෝජනයකි. නමුත්, නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට හෝ වෙනත් සමාගමකට නොදිය යුතු බව, ජනාධිපතිවරයා පමණක් නොව වරාය අධිකාරියේ එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා පවා සඳහන් කළේය. අග්‍රාමත්‍යවරයා විසින් ගත් එම තීන්දුව යහපත් තීන්දුවක් නොවේ. ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වූ එය, ඔහුගේ ධූරය අහිමි කිරීම සඳහා අවශ්‍ය අවසාන සාධකය නිර්මාණය කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි ධූර කාලය

මෙම සමස්ථ සිදුවීමේ ප්‍රධාන අපේක්‍ෂාවන් අතර පළමු කාරණය වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි ධූර කාලයට අවශ්‍යය වටපිටාව නිර්මාණය කර ගැනීමය. වත්මන් එක්සත් ජාතික පක්ෂය එය දවල් හීනයක් ලෙස හුවා දක්වමින් ජනාධිපතිවරයාට එරෙහිව කටමැද දොඩවනු ලැබුවේය. එසේම වත්මන් ආණ්ඩුවට පක්ෂ වූ බොහෝ දෙනෙකු සිරිසේන මහතාට අවශ්‍යය දෙවැනිවාරය සඳහා අවශ්‍යය දේශපාලන වටපිටාව සකස් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.
ඔහුට තිබූ එකම විකල්පය වූයේ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයයි. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් නොව සීයක් පමණ මරා දමමින්, තම දේශපාලන අවශතාවය ජනාධිපති සිරිසේන මහතා විසින් ලබා ගත් ආකාරය ඉතාම ආකර්ශනීය වේ. අනාගත දේශපාලන වෙනස්කම් ගැන අනාවැකි කිමට නොහැකි වත්මන් දේශපාලන රටාවක දේශපාලන කම්පනයක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත් එහි ව්‍යවස්ථාපිත ගැටලුවක් තිබේ. ඉතාම ප්‍රවේශමෙන් විසඳා ගත යුතු කාරණය වන්නේ එයයි.
පෙර සඳහන් කළ අකාරයෙන්, පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අතර දේශපාලන එකඟතාවයක් තිබුණි. ඔහුගේ එකම කොන්දේසිය වූයේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම්, ආණ්ඩුවේ අනාගතය තීන්දු කිරීමට තමන් සූදානම් බවය. අවසානයේදී එය, කළ හැකි බව ඒකාබද්ධ විපක්‍ෂය වාචිකව සඳහන්ක කරණු ලැබූ අතර, අග්‍රාමාත්‍ය ධූරය වහාම වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළේය. රටේ පවතින නීතියට අනුව එය නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බව සත්‍යය. නමුත්, මෙම සිදුවීම ඉතාම බරපතළ ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇති කාරණයකි. මෙය ප්‍රධාන පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුලුමනින්ම කඩා බිඳ දැමීමකි. මහජන කැමැත්තත හිතා මතා අපහරණය කිරීමකි. මෙහි කෙළවර, ජනාධිපතිවරයාට එරෙහිව නිර්මාණය කළ හැකි දෝෂාභියෝගයක් දක්වා වර්ධනය වීඑම් අවදානමක් නැතුවා නොවේ.
මන්ද, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුව ජනාධිපතිරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු පුද්ගලයෙක් වන අතර ඔහු යටතේ පාලනය වන අගමැතිවරයාට බහුතරයක් නොමැති බව පාර්ලිමේන්තුව තුළින් ඔප්පු කිරීමක් මෙහිදී සිදු කොට නැත. නමුත් ව්‍යවස්ථාවේ ඇති කාරණයක් වන, “ ජනාධිපතිවරයාට හැඟී යන්නෙන් නම්”, යන කාරණය ප්‍රකාරව ඔහුට, නව අගමැතිවරයෙක් පත් කිරීමට හැකිය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුලුමනින්ම කඩා බිඳ දැමීම

මෙහි ඇති නොගැලපීම වන්නේ, වත්මන් අගමැතිවරයාට සැබවින්ම බහුතරයක් නැත්තේද? යන්න ඔප්පු නොකොට මෙම තීන්දුව ගැනීමය. ඒකාබද්ධ විපක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ගෙන එන තර්කය එතරම් සාධනීය නොවේ. ඔවුන්ගේ තර්කයට අනුව, 2015 දී ජනාධිපතිවරයා පත් වූ පසු එක්සත් ජාතික පක්ෂ සුළුතර ආණ්ඩුව එම වසරේ අගෝස්තු වන තෙක් පාලනය කරගෙන ගියා සේ, ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවෙන් පසු සාමාජිකයින් 96කින් යුතු සුළුතරයට රට කරගෙන යෑම සඳහා ඉඩ ලබා දිය යුතු බවය. මෙය ව්‍යවස්ථාවට නොගැළපෙන තර්කයක් වන අතර, එමඟින්, “ප්‍රජාතන්තවාදී අඥාදායකත්වයක්” නිර්මාණය කොට තිබේ. මන්ද, ජනාධිපතිවරයාට හිමි තම ව්‍යවස්ථාපිත බලය අනුව, බහුතරයක බලය ඇත්තෙක් අගමැතිවරයා විය යුතු බව ඔහුට හැඟී යන්නේ නම්, එම තනතුරට ඔහු හෝ ඇය පත් කළ හැකිය. නමුත් ඔහු, ඒ බව පාර්ලිමේන්තුවේදී ඔප්පු කළ යුතු වේ. පාර්ලිමේන්තුව කල් දැමීමෙන් එය කළ නොහැකිය. එය කළ නොහැකි නම්, සිදු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගයන් උල්ලඝණය කොට තම පෞද්ගලික දේශපාලන අභිමතාර්ථයන් වලට ඉඩ දීමකි.
ව්‍යවස්ථාවේ සඳහන්, “යමෙකුට බහුතරය ඇතිබව හැඟි යන්නේ නම් ඔහු අගමැතිවරයා කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුවන්නේය” යනු, සිහිනයක් හෝ  උපකල්පනයක්න් ජනතාවගේ බහුතර කැමැත්තෙන් බලයට පත් වූ තම බලය භාවිතා කොට බලරහිත කොට ඇත. එය සම්ප්‍රදායන් වලට එදිරිව යන්නෙකි. මෙය ජාතික මෙන්ම ජාත්‍යන්තර අධිකරණ වලදී ප්‍රශ්න කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය කළ සිදුවීමක් බවට පත් වන්නේ ඒ අනුවය. මන්ද ඒකීය රාජ්‍යයක් ලෙස, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් හමුවේ අපි රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගයන් ආරක්ෂා කරන බවට සපත කොට ඇත. ජනාධිපතිවයා විසින් තම අභිමතය ප්‍රකාරව පත් කරනු ලැබූ නව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, මෙම තත්වය ඉතාම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතූ වනු ඇත. මෙහි ඇති ගැඹුරු දේශපාලන අවදානම එයයි.
නමුත්, මෙහිදී ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය පැත්තෙන් සිදු වී ඇත්තේ, ඔහු තම දෙවැනි වාරයට අවශ්‍යය දේශපාලන වටපිටාව ශක්තිමත් කර ගැනීමකි. ඒ අනුව මීලඟ ජනාධිපති මැතිවරණයේදී, ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වීම අනිවාර්යය වේ. ඊට මූලික සහයෝගය මේවන විට අගමැතිවරයා ලෙස පත්වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලැබෙනු ඇත. රටේ පවතින දේශපාලන පරිසරයට අනුව තේරුම් ගතහොත්, මැතිවරණයෙන් පහසු ජයක් ලබා ගැනීමේ පරිසරයක් ජනාධිපතිවරයා අභිමුඛව නිර්මාණය වී තිබේ.  එය එතරම් පහසු කටයුත්තක් නොවේ. නමුත් කළ හැකිය.

ලණුව දී ඇත්තේ කවුද? ලණුව කෑවේ කවුද?

ඒ කෙසේද? ජනාධිපති සිරිසේන මහතා වහාම ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඔහුට තම දෙවැනිවාරය සහතික කරගත හැකිය. ලෝකයම පුදුම කරවමින් යළිත් ජනාධිපතිධූරය ඔහුට අත්පත් කර ගත හැකිය. මෙය, මෙම අරුම පුදුම මිත්‍රත්වයට අදාළව ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඉදිරිපත් වූ සහ රාජපක්ෂ පාර්ශවය දිවි හිමියෙන් පොරොන්දු වූ  මූලික කොන්දේසිය/පොරොන්දුව වුවහොත් පුදුම විය යුතු නැත. සැබෑ අභියෝගය ඇත්තේ රාජපක්ෂ හමුවේය.  බැරිවෙලාවත්, නව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත්, රාජපක්ෂ මහතා තම දේශපාලනය යළිත් තමන් විසින්ම විනාශ කරගත් බව රට හමුවේ ඉතාම ඛේදනීය ලෙස ඔප්පු කරනු ඇත. බහුතරය පෙන්වීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇත. වාසි වෙනුවෙන් පැත්ත මාරුකරන අයවලුන්ට උදා වී ඇති කළ දසාව ඉතාම ශුභය. මෙම සමස්ථ සිදුවීම් සිදුවන් විට, ජනාධිපති සිරිසේන මහතා තම අභිලාෂයන් මුදුන්පත් කරගෙන අවසානය.
කෙසේ නමුත්, මෙය ඉතාම බරපතළ අවස්ථාවකි. මන්ද අගමැති වික්‍රමසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව තවමත් ඔප්පුකොට නැත. ඒ සඳහා විපක්‍ෂයට 18 දෙනෙකුගේ සහය අවශ්‍යය වේ. නොවැම්බර් 16 වන තෙක් කළ තබා ඇති පාර්ලිමේන්තුව, යළි රැස්වන අවස්ථාවේදී එය කළ හැකි බව නව අගමැතිවරයා සිතන්නේය. නමුත්, වික්‍රමසිංහගේ දේශපාලන කුසලතාව විසින් ඔප්පු කොට ඇත්තේ කල් ගන්නා සෑමවිටම ඔහු තම අභියෝග ජයගන්නා බවය.
ආසන්නතම සිදුවීම වූයේ, අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ දෝෂාභියෝගයයි. එය අසාර්ථක විය. ඒ හා සමාන සිදුවීමක් මෙහිදී සිදු වුවහොත් රට හමුවේ නිර්මාණය විය හැකි දේශපාලනය ගැන කිසිවෙකුට සිතාගැනීමටවත් නොහැකි වනු ඇත.
ලණුව දී ඇත්තේ කවුද? ලණුව කෑවේ කවුද? යන්න තීරණය වන්නේ, සමස්ථ සිදුවීම අවසානයේ අවසන් සිනහව හිමි පුද්ගලයාටය. ජනාධිපති සිරිසේන මහතා සමස්ථ රටේ දේශපාලනය මුළුමනින්ම වෙනස් කරමින් සිටින අයුරු සැබවින්ම හැදෑරිය යුතු ගැඹුරු දේශපාලන සංසිද්ධියකි. ඔහු, තමන්ගේ දෙවැනි වාරය වෙනුවෙන් ගමන් කිරීමේදී, රාජපක්ෂ තමන්ගේ තෙවැනි වාරය වෙනුවෙන් දුටු සිහිනයෙදී කළ අත්වැරදී වලින් මිදී කටයුතු කිරීමට ඇති වටපිටාව ඉතාම ඉහළය.
මෙහි ඇති ආකර්ෂණීය දේශපාලන ප්‍රවණතාවය වන්නේ, පළමුව සිරිසේන මහතා ජනාධිපති වූයේ රාජපක්ෂ මහතාට එදිරිව යමිනි. දෙවනුව ඔහු තම අපේක්ෂාවෙන් ලබා ගැනීමට උත්සහ කරන්නේ, රාජපක්ෂ මහතා තමන් සමීපයට ගෙන භාවිතා කරමිනි.
ඉදිරි මැතිවරණ වලදී තනන වේදිකාවකදී, මෛත්‍රී වෙනුවෙන් කෑ මොර දීමට නියමිත “අගමැති” රාජපක්‍ෂ දේශපාලනික වශයෙන් තල්ලු වී ඇති තැන ඉතාම සංකීරණ වේ.
මෙම දේශපාලන අර්බුධය සරල වශයෙන් මෙසේ සුත්‍ර ගත කළ හැකිය. එනම් මෛත්‍රීගේ දෙවැනි වාරය වෙනුවෙන් ඇති කළ ව්‍යවස්ථාමය අර්බුධය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක ප්‍රායෝගික භාවිතාවකි.

No comments: