දේශපාලනික වශයෙන් විනාශ වී ඇත්තේ රනිල් නොව මහින්දය

මහින්ද රාජපක්‍ෂ කබලෙන් ලිපට ඇද දැමූ මෛත්‍රිපාල සිරිසේන සියල්ල කළේ රටේ අවශ්‍යතාවයකටද? පෞද්ගලික දේශපාලන අරමුණකටද?


විශේෂ ලියුම්කරුවෙකු විසිනි
දේශපාලනික වශයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවක් පසුකරන මෙරට වෙසෙන සහ මෙරට දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන සෑම දෙනෙකුම රටේ ජනතාව හමුවේ කළ යුතු මූලික ආයාචනය නම් කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට හවුල් නොවීමය. රට ප්‍රචණ්ඩත්වයකට ඇද දමා දේශපාලන වාසි ලබා ගැනීමට මේ මොහොතේ මාන බලමින් සිටින පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ.

එසේම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිම විටක අපේක්ෂා නොකළ මට්ටමින් ඔහුගේ තීන්දුව බරපතළ හානියක් රටට ඇති කරමින් තිබේ. ඒ තවත් මාස කිහිපයකින් ගත යුතුව තිබූ තීන්දුවක් හදිසියේ ගැනීමෙනි. මෙම දේශපාලන තීන්දුව එනම් පොලිටිකල් ගේම් එක වෙනම ආකාරයකින් ඉතාම තීක්ෂණ ලෙස නොහොත් සිරිසේන මහතාගේ වචන වලින් කියතොත් ඉතාම ප්‍රබුද්ධ ලෙස ගත හැකිව තිබුණි. නමුත් කොතැනක හෝ සිටි අඥානයකු හෝ මෝහයෙන් පිරි කණඩායමක් ගලේ පහරා ඇත. ආණ්ඩුවක් හෝ කැබිනට් මණඩලයක් වෙනස් නොකළ යුතු අවස්ථාවක එවැන්නක් ජනතාව හමුවේ තැබීමෙන් වීරයෙකු වීමට නොහැකිය. වචන හරඹ වලින් පමණක් රටේ ජනතාව අපේක්ෂා කළ දෑ ලබා දිය නොහැකිය.
ජනාධිපතිවරයා මහ බැංකු මංකොල්ලය ගැන අගමැතිවරයාට ඇඟිල්ල දිගුකරන්නා සේම ඔහුටද ඇඟිල්ල දිගු වන කාරණා රාශියක් තිබේ. එක්සත් ජාතික පක්ෂයට සියලුම කුණු දැමීමෙන් ජනතාව අතර අවංක කැමැත්තක් ඇති කිරීමට නොහැකිය. අඩු තරමින් මහ බැංකු මංකොල්ලයට වග කිව යුතු යැයි චෝදනා එල්ල වී වරද කරුවෙකු වූ ඇලෝසියස් සිරබත් කන්නේය. නමුත් ජනාධිපතිවරයාගේ ඍජු නියෝගයෙන් රටේ සිදු වූ අපරාධ කෙතරම් ප්‍රමාණයක් යටගසා තිබෙන්නේද?
ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ කතාව ඉතාම දුර්වල එකක් වන අතර එහිදී හෙතම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ඇති වෛරය පමණක් පිරිමසා ගැනීමට උත්සහ කළේය. එය ප්‍රබුද්ධ දේශපාලනඥයෙකුට කළ හැකි කටයුතක් නොවේ. අදාළ කතාවේදී රටේ ජනතාව හෝ විදෙස් තානාපති කාර්යාල වල නියෝජිතයින් මෙන්ම රටට ආධාර සහ ණය ලබා දී ඇති අයවලුන් දැන ගැනීමට අපේක්ෂාවෙන් සිටි කිසිම කාරණයකට මුල් තැනක් ලබා දුන්නේ නැත. අදාළ තීන්දුව ගෙන දින දෙකක් ගත කිරීමෙන් පසු ජනතාව ඉදිරියට පැමිණ, රටේ ජනතාව සහ ලෝකය දැන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි කාරණා සියල්ලම යට ගසා තම තීන්දුව සාධාරණීකරණය කිරීමට ඉතාම දුර්වල උත්සහයක් ගත්තේය.
ඒ වන විටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනතාව මෙන්ම විදෙස් තානාපතිවරුන් අමතා තම අදහස ප්‍රකාශ කොට අවසන්ය. තමන් ගත් තීන්දුව එතරම් සාධාරණ තීන්දුවක් වන්නේ නම්, ජනාධිපතිවරයා දින දෙකක් තිස්සේ ජනතාවගෙන් වසන් වී හැංගි මුත්තන් කළේ මන්ද?
ගත වෙමින් පවතින කාලය තුළ ජනාධිපතිවරයා හුදෙළා වීමේ විශාල අවදානමක් තිබේ. මෙහි ප්‍රතිවිපාක ඉතාම බරපතළ විය හැකිය. මේ නිසා රටේ විදෙස් සම්බන්ධතා බරපතළ තත්වයකට ඇදවැටිය හැකිය. එසේම, රට කෙරෙහි ගොඩනගා ගෙන ඇති යහපත් ගරුත්වය පළුදු විය හැකිය. අවසානයේ සම්බාධක පැනවීමේ අවධානමක් සහ රටේ ආර්ථිකය තව දුරටත් දුර්වල වීමේ විශාල සම්භාවිතාවක් තිබේ.
එසේම, අගමැතිවරයාගේ, ආරක්ෂාව ඉවත් කොට කාර්යය මණ්ඩල බල රහිත කොට, ඉතාම අශෝබහන නාඩගමක් නැටීම කිසිවෙකුට පිළිගත හැකි කාරණයක් නොවේ. මෙවැනි ආකාරයේ හැසිරීමක් කුමන බාධක මැද වුවද, මහින්ද රාජපක්‍ෂ මහතාවත් සිදුකරන්නේ නැත. රාජපක්ෂ මහතා විසින් ප්‍රගුණ කොට ඇති තම දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීමේ කලාව ඉතාම සියුම් එකකි. මෙම අර්බුදය තුළින් පෙනී යන මූලික කාරණය වන්නේ ජනාධිපති සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති වී පෞද්ගලික කෝන්තරය පිරිමසා ගැනීම සඳහා රට අපුලේ හෙලා ඇති බවය.
නමුත් මෙහි ඇති ඛේදජනක කාරණය වන්නේ රාජපක්‍ෂ මහතා මුහුණ දී සිටින දේශපාලන ව්‍යාකූලතාවයයි. සත්‍යවශයෙන්ම මෙම දේශපාලන තීන්දුව හමුවේ වගඋත්තර කරුවකු වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාය. තවත් වසරකින් පමණ ඉතාම පහසුවෙන් ලබා ගත හැකිව තිබුණු ශක්තිමත් දේශපාලන බලය, ඔහු විසින්ම අකුලේ හෙළා ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනතාවද, ඔහු විසින්ම තුෂ්නීම්භූත තත්වයකට පත්කොට ඇත.
මීළඟ මහමැතිවරණයෙන් ඉතාම ආකර්ශනීය ජයග්‍රහණයක් ලබා ගත හැකිව තිබූ රාජපක්ෂ මහතා, මීළඟ මහමැතිවරණයට පෙර දේශපාලනික වශයෙන් 2015 නොවැම්බර් මාසයේ සිටි තත්වයටත් වඩා දුර්වල තත්වයට පත් වුවහොත් එය පුදුමයක් නොවේ. එනම් මෙම සමස්ථ සිදුවීම, ඔහු කෙරෙහි දේශපාලනික වශයෙන් ජනතාව තබා තිබූ විශ්වාසය දැනුවත්ව හෝ නොදැනුවත්ව කඩා බිඳ දැමීමකි.
බල තණ්හාවේ ඇති වියෝව එයයි.
නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකොට ඇත්තේ නියම මැකියාවෙලියානු දේශපාලන උපායන් තම දේශපාලන බිඳවැටීම යළි සකස් කරගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට උත්සහ ගැනීමය. නමුත්, එම න්‍යායන් කඩිමුඩියේ කිරීමට ගොස් , ඉතා දුෂ්කරතාවයකට පත් වී ඇති බව සත්‍යය. ඔහු දේශපාලනික වශයෙන් තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සමත් මෙරට දේශපාලන ඉතිහාසයේ බිහි වූ කෛරාටක නූල් සූත්‍ර කාරුවා බවට පත් වී හමාරය. නමුත් මෙවර ඔහු කලබල වී ඉක්මන් වී ඇත.
“රැවටිලිකාරයෙකුට, රවිටිලිවලට හසු වන්නෙකු හැම විටම මුණ ගැසෙන තරමට මිනිසුන්ගේ මනස සරලය; ඔවුහු ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතා විසින් මෙහෙයවෙන්නේය”, ජනාධිපති සිරිසේන මහතා රාජපක්‍ෂ මහතාට නවාකරයක තොන්දුවක් දැමීම සඳහා අනුගමනය කොට ඇත්තේ සහ මහින්ද රාජපක්‍ෂ මහතා පැටලී ඇත්තේ මෙම උගුළේය. ඔහුට මෛත්‍රීපල සිරිසේන මහතා දේශපාලනික වශයෙන් ගොඩ දැමීමකින් තොරව දේශපාලන අනාගතයක් නැත. රාජපක්‍ෂ මහතා විසින් දේශපාලනික වශයෙන් සිරිසේන මහතා ගොඩ දමන විට රාජපක්ෂ මහතාගේ දේශපාලන බලය දියවී ගොස් තිබුණොත් පුදුම විය යුතු නැත.
අනෙක් පසින් ජනාධිපති සිරිසේන මහතා හමුවේ ඇති දේශපාලන න්‍යාය කුමක්ද? “දුබල තීරණ වල විපාක තමන් මත පතිත වීමට ඉඩක් නොලැබෙන පරිදි වෙනත් සිද්ධියක් ඔහුගේ වාසනාව විසින් හට ගන්වන ලද” සෑම විටම දුබල තීරණ හේතුවෙන් අපකීර්තියට පත් වූ පුද්ගලයාට හදිසි වීරත්වයක් ලැබේ. හෙතම උපායශීලී වන්නේ නම්, එය තම වාසියට හරවා ගැනීම සඳහා එම පුද්ගලයා ඉතා මැනවින් සහ කඩිනමින් කටයුතු කරන්නේය . ජනාධිපති සිරිසේන මහතා සිදු කළේ එයයි. නමුත් එය නිසි කළ එලම්බීට පෙර කිරීමෙන් නොසිතූ විපාකයට මුහුණ දී සිටින්නේය.