ධනුෂ්ක හා බූඩී – ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට





සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙල (4th All Lights India International Film Festival) එළඹෙන දෙසැම්බර් 01 වෙනිදා සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී අාරම්භ වීමට නියමිතය. මෙහි  ජූරි සභිකයින් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලාංකේය සිනමා වෘත්තීකයින් දෙදෙනෙකුට  ඇරයුම් ලැබී තිබේ. 

ඒ අනුව උළෙලේ අන්තර්ගත  කුළුඳුල්  සිනමාපට තරඟ අංශයේ (Competition for Debut Director Movies) විනිශ්චය වෙනුවෙන් ස්ථාපිතකොට ඇති නිළ ජූරියේ කටයුතු කිරීම උදෙසා සිනමා කැමරා ශිල්පී ධනුෂ්ක ගුණතිලකව උළෙලේ ප්‍රධාන සංවිධායක මඩුල්ල විසින්ද, සිනමා උළෙලේ අන්තර්ගත  නෙට්පැක් (NETPAC) නම් වූ ස්වාධීන ජූරීයේ සහ ඉන්දිවුඩ් පැනොරාමා (Indywood Panorama) තරඟ අංශ ජූරියේ කටයුතු කිරීම උදෙසා සිනමා අධ්‍යක්ෂක බූඩී කීර්තිසේනව ශ්‍රී ලංකාවේ ස්ථාපිතව ඇති ආසියානු සිනමා කේන්ද්‍රය විසින්ද  තෝරාපත්කොට ගෙන ඇත.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටා තිබූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මූලිකත්වයෙන් 2011 වර්ෂයේදී ඇරැඹි කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය සිනමාපට උළෙලේ (COINSඅධ්‍යක්ෂක ලෙසින් කටයුතු කල ධනුෂ්ක ගුණතිලක, ජූරි සභිකයෙකු ලෙසින්  නියෝජනය කරන දෙවන අන්තර්ජාතික සිනමා උළෙල මෙයයි.
මීට පෙර 2017 වර්ෂයේදී පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති පළමු ආසියා සාම සිනමා උළෙලේ (Asia Peace Film Festival) වාර්තා සිනමාපට ජූරියේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට ධනුෂ්ක ගුණතිලකට  අවස්ථාව හිමිවිය. එලෙසින් මෙරටින් එපිට පැවති අන්තර්ජාතික සිනමා උළෙලක ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලද ප්‍රථම ශ්‍රි ලාංකේය සිනමාපට කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසින් ඉතිහාසයට එක්ව ඇති  ධනුෂ්ක ගුණතිලකමේ දක්වා  විදේශයක පැවති අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කල එකම ශ්‍රි ලාංකේය සිනමාපට කැමරා අධ්‍යක්ෂකවරයාද වේ.  


නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තණ්හා රතී රඟා‘ සිනමාපටයෙන් කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩිමින් දෙරණ, හිරු සහ සිග්නීස් යන දේශීය සම්මාන උළෙලයන්හිදී සම්මානයට පාත්‍ර වූ  ධනුෂ්ක, තිරගත වූ විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ ගිනි අරන්‘ චිත්‍රපටයේ අතිරේක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසින්ද , ඉදිරියේ තිරගත වීමට නියමිත ‘අමාවක’ (විජිත ගුණරත්න), ‘සුපර්ණා’ (සුජීව ප්‍රියලාල්) හා ‘ගින්නෙන් උපන් සීතල’ (අනුරුද්ධ ජයසිංහ) යන සිනමා නිර්මාණයන්හී ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයාලෙසින්ද කටයුතු කොට ඇත.



ඒ අතුරින් ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය මෙවර ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී නොවන ඛාණ්ඩය (Out of Competition) යටතේ වූ ජගත් සිනමා (World Cinema) අංශය යටතේ තිරගත කරලීම උදෙසා නිළ වශයෙන් සුදුසුකම් ලැබ තිබීම විශේෂත්වයකි.



‘සිහින දේශයෙන්’, ‘මිල්ලේ සොයා’, ‘මාතා’ සහ ‘නිම්නයක හුදකලාව‘ හරහා විචාරක, සරසවි, ජනාධිපති, සිග්නීස්, දෙරණ, හිරු ආදී දේශීය සිනමා සම්මාන උළෙලයන්හිදී නානාවිධ සම්මානයට පාත්‍රවෙමින් මෙරට ප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයකු බවට පත්වූ  බූඩී කීර්තිසේන, විදේශයක පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලක ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ.


එහෙත් සරසවි, දෙරණ, හිරු ආදී දේශීය සිනමා සම්මාන උළෙලයන් තුල ව්විධ අවස්ථාවන්හිදී ජූරි සභිකයෙකු ලෙස ක්‍රියා කොට ඇති බූඩී, වර්තමානයේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ලංකාව නියෝජනය කරමින් සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියට සහභාගීවීමට නියමිත මෙම ශිල්පීන් දෙපළට ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙතින් උණුසුම් සුභපැතුම්.